ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක්

ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක්

දයාබර ගුරුතුමිය වෙත,

ලොව සියලු දෙනාම රජ වන්නේ යහපත් රාජ්‍ය පාලකයන් යටතේය, නුවණින් ඒ පාලකයන් සවිමත් කිරීම අදියුම් දෙන්නන්ගේ ශක්තියෙන් බව ලොවම දන්නා කරුණකි. එබැවින් යහපත් රාජ්‍ය පාලකයෙක් වන්නට සිටින මාගේ පුත්‍රයාට මේ තතු කියාදීම ඔබ සතු යුතුකමක් මෙන්ම එය ඔබට මතක් කිරීම මා සතු වගකීමකි.

කුඩාකල පටන් රිදී හැන්ද මුවේ තබා පැමිණි රජ පැටියන්ට මහපොලවේ කර්කශ්ඨක බව උරුම නැති බව මාගේ පුත්‍රයාට කියාදෙන්න. අතට පයට දැසි දස්සන් ගෙදර සිට මිදුලට යාමටත් යාන වාහන ලැබෙන්නේ පෙර පිනෙන් සහ සිය පියාගේ මානව දයාව හා කැපවීම නිසාවෙන් බව ඔහුට කියා දෙන්න. කිසි විටක සාමාන්‍ය පන්තියේ මිතුරන් ආශ්‍රය නොකිරීමටත් හැකිතරම් ව්‍යාපාරික පන්තියේ හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නැතිනම් නමගිය අපරාධකාරයන් මට්ටමේ මිතුරන් පමණක් ආශ්‍රය කිරීමට ඔහුට මග පෙන්වන්න, එය අදටත් වඩා හෙටට ඔහුට මහා ශක්තියක් සහ පසුපසින් පැමිණෙන් බලමුළුවක් වනවා නියතය.

මේ ආසනය ඔහුගේ දේපල බවත් මේ දිස්ත්‍රික්කය ඔහුගේ ඉලක්කය බවත් ඔහුට පෙන්වා දෙන්න, දේපල මතින් ඉල්ලක්ක වෙතට පිය මනින්නට ඉදිරියට එන කිසිඳු බාධකයකට එම ගමන වැලැක්වීමට ඉඩ නොදෙන ලෙසට ඔහුට කියා දෙන්න, ඒ සෑම ගැටළුවකදීම දැවැන්ත මාධ්‍ය සංදර්ශන මගින් ඔහුව නිසි මාර්ගයට ගැනීමට මහා විසල් රුකක් මෙන් සිය පියා සිටිනා බවට ඔහුට මැනවින් කියා දෙන්න.

දුප්පත් මිනිහාට පුට් බයිසිකලයත්, මැදපන්තියේ මිනිහාට මරුටියත් ලෙසින් ඔහුගේ පන්තියට සහ පියාගේ මට්ටමට උරුම ලැම්බෝගිනියක් බව ඔහුට කියා දෙන්න. ඒ සඳහා මොනතරම් වියදමක් දරන්නට වුවත් මෙරට ජනයා එයට නොමසුරුව ආධාර කරන්නට වැල නොකැඩී සැදී පැහැදී සිටින බව ඔහුට කියා දෙන්න. ඒ ලැම්බෝගිනියට කවුරුන් හෝ යටවී මියගියත් එය සමුරායිවරයෙක් අවසන් සටනකදී මියගියා වැනි අභිමානයකින් මෙරට වැසියන් පිලිගන්නා බව ඔහුට අවධාරණයෙන් කියා දෙන්න.

ඔහුගේ ගමනට විරුද්ධවෙන ඕනෑම අයෙක් නිසැකවම රාජ්‍ය ද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක් මෙන්ම ත්‍රස්තවාදියෙක් ද වන බව ඔහුට කියා දෙන්න. එවැනි පාපතරයෙක්ට තුවක්කුව දිගුකිරීමට, අතපය කැඩෙන තුරු පහරදීමට, ගස් බැඳීමට, පිරිස් පිටින් ගොස් තර්ජනයට, අතුරුදහන් කිරීමට උත්තම අයිතියක් ඇති බව ඔහුට කියා දෙන්න. ඒ උත්තම අයිතිය නිසාවෙන් නිසැකවම එවැනි පාපතරයින් ඔහු ඉදිරියේ දණින් වැටී සමාව ගෙන වැරැද්ද තමන්ගේ බව පිළිගන්නා බවත් ඔහුට කියා දෙන්න.

ඔනෑම ආකාරයේ සංවිධාන සංගම් කැමති තැනක ගැහැණු පිරිමි භේදයකින් තොරව පිහිටුවාගන්නා ලෙසත් රටේ සමස්ත රාජ්‍ය රැකියා ඇබෑර්තු සියල්ලක්ම පාහේ එම සංවිධාන වෙත තිළිණ කිරීමට රාජ්‍ය ආයතන මෙන්ම මහජනතාව ද ඉතා කැමැත්තෙන් බලා සිටින බව ඔහුට වටහා දෙන්න. එසේම ඕනෑම විභාගයක්, පට්ටමක් ගැනීමට ඕනෑම අධ්‍යාපන ආයතනයකට යන ලෙසත් එවිට එම ආයතනවල ප්‍රධානීන් මල්මාලා ද තියාගෙන මග රැක සිට ඔහුව පිලිගන්නේ ඔවුන්ගේ කැමැත්තෙන්ම බවද කියා දෙන්න. එසේම එවැනි තනතුරු ලද පසු රට පුරාම බැනර් සහ පුවරු පලකරමින් රටේ මහජනතාව සුබ පතන්නේ කඳුළු වගුරවමින් බව ඔහුට සංවේදීව කියා දෙන්න. මෙරට ජනතාව එතරම් සංවේදී ජනතාවක් බව ඔහුට පෙන්වා දෙන්න.

ඔහුගේ ක්‍රියාවන් නිසාවෙන් මාගේ ඇතැම් බලාපොරොත්තු සහගත තනතුරුවලටද බලපෑම් සිදුවිය හැකි මෙන්ම මරණ තර්ජනද එල්ලවිය හැකිබව ඔහුට කියා දෙන්න. නමුත් එවිට රටේ ජනතාව ඒ සියල්ල අමතක කර දමා සුපුරුදු සෙනෙහෙස අප වෙත පලකරනු ඇති බවද කියා දෙන්න. තවද මගෙන් පසු මේ තනතුරට එකම සුදුස්සා ඔහු බවත් ඔහු මාගේ තැනට එනතෙක් මා රෝද පුටුවෙන් හෝ ගිලන් ඇඳේ සිට වුවත් තනතුර රකින බවත් එසේත් නොමැතිනම් නීති රීති හෝ වෙනස් කර ඔහු වෙනුවෙන් පමණක් තනතුර රකින්නේ ඔහු කෙරෙහි මෙන්ම මේ රට කෙරෙහිද ඇති අසීමිත පෙම නිසාවෙන් බව ඔහුට කියා දෙන්න. අවසානයේ මේ සියල්ලක්ම ඔහුගේ අනාගත උරුමයන් බවත් අප සිදුකරන්නේ ඔහු සුවසේ ඒ වෙත රැගෙන යාම බවත් අතර මැද ගැටළු වලදී අප සුමටව ක්‍රියා කරන්නේ රටේ සුගතිය වෙනුවෙන්ම බව කියා දෙන්න. ඔහු අනගාතයේ මාගේ තනතුරත් ඉක්මවා ගිය පසු මට මෙන්ම ඔබටද ඒ ආඩම්බරය දැනෙනු ඇත.

මීට
ඇමතිතුමා

Source : Boondi

Comments

Popular posts from this blog

File "stdin", line 1 — invalid syntax error in Visual Studio Code

ChatGPT wrote a poem about Ajahn Brahm

A Perspective of Sri Lankan Bus Conductors